Thursday, July 18, 2019

හිතයි මමයි..


නිල් අහස් වියන මත
වළාකුළු අකුරු ගෙන
එකිනෙකට අමුණමින්
දුක් බර ජිවිතය ගැන
කියන්නට සිතෙයි මට,
පාසල් යන්නට ආසමුත් මම
අද මගේ හඩ ඇසෙයිදෝ කාටහරි
ඒ නමුත් මම
අද සිනාසෙමි,
හෙට දවස ගැන හිතා.....

පොතක් කියන්නෙ නිදානයක්..

පොතක් කියන්නෙ නිදානයක් පරපුරෙන් පරපුරට දායාද පැවරෙන

1959 අවුරුද්දේ  අවුරුදු දහයක් වයස පිරුණු කොලු ගැටයෙක්ට එයාගෙ තාත්තා පොතක් දෙනවා. ඒ පොතේ නම බිම්ගෙයි සිරකරුවා හා වෙනත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටිකථා. ඒ පුතණ්ඩියා ඒ පොත නිදානයක් වගේ පරිස්සමෙන් තමන් ළග  තියාගෙන ඊට හරියටම වසර හතළිහකට පස්සෙ , ඒ කියන්නෙ 1999 අවුරුද්දේ  එයාගෙ දුවට අවුරුදු දහය පිරුණම ඒ පොත තෑගී දෙනවා. ඒකේ පළවෙනි කෙටිකතාව ඉස්කෝප්ප රැජින කියවලා ඇය පුදුම වෙනවා.  අල්ලපු ගෙදර නිලම් මාමා හැමදාම ඒකාලේ හැන්දෑවට කොළ කුට්ටමක් තියාගෙන බූරුවා ගහනවා. ඒ බූරුවා සෙල්ලම කතාවක් විදිහට අමුතුම විදිහකට ලියපු ඉස්කෝප්ප රැජින කෙටිකතාව ඇයට පේන්නෙ අකුරු එක්ක කරපු මැජික් එකක් වගේ. කතාවෙ හිටපු හර්මන් අවසානයේ සූදූව නිසාම උමතු වෙද්දි අල්ලපු ගෙදර ඉන්න නිලම් මාමාගෙන් ඔයා කැමති ආසියාටද? පොරවටද? හේරටද? කියලා අහලා බලන්නත් ඇය පසුබට වෙන්නෙ නෑ.  ලිසාවෙට ඉවනොව්නා කියන නම දාලා කතන්දරයකුත් ලියලා  කවදාහරි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ලිව්වා වගේ ඉස්කෝප්ප රැජින විදිහෙ කතා  ලියලා පොත් ලියන කෙනෙක් වෙන්න ඕනේ කියන සිතුවිල්ල මුලින්ම එන්නෙත් ඇයට ඔන්න ඔය කාලෙදි. ඒකාලේ වත්ත පහළ ඉන්න පිල් දිග කපටි මොනරගෙ නමත් හර්මන්. උගෙ සෙබඩියො දෙන්නගෙන් එක්කෙනෙක් ලිසාවෙටා , අනිකා මැටිල්ඩා. ඊට අවුරුදු දහතුනකට පස්සෙ සළපතන මණ්ඩිය නවකතාව  පළවෙනකොටත්  අර ඉස්කෝප්ප රැජින වගේ කෙටිකතා ලියන්න හිතාගෙන පත්තරවලට ලියපු කෙටිකතා ගොන්නක් එකතුවෙලා තිබ්බත් ඒ එකක්වත් වැඩකට ඇති ඒවා නෙමෙයි කියලා ඈට නිතරම හිතුනා. කොයිතරම් පොත් කන්දරාවක් කියෙව්වත් තවමත්   අවුරුදු දහයෙදි කියවපු ඉස්කෝප්ප රැජින වගේ හිත බැදුණු කතාවක් තිබුණේ නෑ. ලේඛිකාවක් වෙන්න මුල්ම හීනය හදාගන්න හේතුවුණ පොතක් විදිහට තාමත් බොහොම පරිස්සමෙන් නිදානයක් වගේ ඇය මේක පරිස්සම් කරනවා. ඊළගට මේක උරුම වෙන කෙනා මොන විදිහකට මේ කතාගොන්න ලබාගනියිද කියලා හිතනකොට මතක් වෙනවා මේ පොත දෙන්න තාමත් කෙනෙක් නෑ නේද කියලා . පොතක් කියන්නෙ නිදානයක් පරපුරෙන් පරපුරට දායාද පැවරෙන

copied :- ආශා රැළපනාව (facebook )

සිංහල ව්‍යාකරණ..







මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි....

Monday, July 15, 2019

රූපවාහිනීයේ ලංකා ආගමනය


රූපවාහිනීයේ ලංකා ආගමනය
           අද වන විට අපේ රටේ බොහෝ නිවෙස්වල රූපවාහිනියට නිවසේ ඉහලම පිළිගැනීමක් හිමි වෙලා තියෙනවා. ඒවිතරක් නෙමෙයි  ටෙලිවිෂනය අද පවුලේම  අපේම සාමාජිකයෙක් වී හමාරයි . ඒ තරමටම ටෙලිවිෂනය  අද වන විට අපි හැමෝටම සමීප වෙලා. මෙච්චරටම අපි හැමෝටම සමීප උන අපේ ටෙලිවිෂන් හිතවතා ලංකාවට ආවේ කොහොමද කියලා   හොයලා බලමු...
           වර්ෂ 1966 දී ජර්මන් රජය ලංකා රජය සමග රූපවාහිනි විකාශනයක් ආරම්භය කිරිමට උත්සහය ගත් නමුත් එවකට අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතාගෙන් එයට යහපත් ප්‍රතිචාර හිමි නොවීය. එයට බලපෑ ප්‍රධාන හේතුව වුවේ ඔහු විසින් ඇමරිකාවේ කරන ලද සංචාරකදී ,ඇමරිකානූ රූපවාහිනි නාලිකාවල තිබූ වැඩසටහන් පිළිබඳ ඔහු තුල පැහැදීමක් නොවීමයි.  එයින් ලාංකේය සංස්කෘතියට  විශාල අයහපත් බලපෑමක් වෙතැයි ඔහු විශ්වාස කරන්නට ඇත. එසේම එවකට ලංකා රජයේ ගුවන්විදුලි සේවයෙන්ද පුලුල් විකාශනයක් නොතිබූ නිසා ලංකා රජය නව රූපවාහිනි සේවයට අකමැති විය. එසේ ලංකා රජය, ලංකාවේ   රූපවාහිනි සේවයක් පිහිටුවීමට අකැමැති වූ තවත් හේතුවක් වුවේ රූපවාහිනි වැඩසටහන් සදහා මෙන්ම නාලිකා ප්‍රචාරය කිරීමට යන අදික වියදම නිසාවෙනි.
              නමුත් වර්ෂ 1967 දී නැවත වරක් ශාන් වික්‍රමසිංහ මහතා විසින් ලංකා අගමැතිවරයා හමුවී පුද්ගලිකව මේ සදහා ඉල්ලීමක් කරන ලදි. ඔහුගේ මේ ඉල්ලීමට පාදක වූවේ ශාන් වික්‍රමසිංහ මහතා රූපවාහිනි තාක්ෂණවේදය පිළිබඳ ලැබූ විදේශ අධ්‍යාපනයයි. නමුත් එම ඉල්ලීමද සාර්ථක නොවීය. වර්ෂ 1970 දී  බලයට පත් වූ  රජයද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.
              වර්ෂ 1977 දී බලයට පත්වූ ජේ.ආර් ජයවර්ධන අගමැතිවරයා වෙත ශාන් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලීම නැවත ඉදිරිපත් කරන ලදි. එම සාකච්ඡාවේ සාර්ථක ප්‍රතිඑලයක් ලෙස වර්ෂ 1979 අප්‍රේල් 13 දින ශාන් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පළමු ටෙලිවිෂන් සම්ප්‍රේශන ආයතනය බිහි කරන ලදි . එම නාලිකාව ස්වාධීන රූපවාහිනි සේවයයි. (Independent Television Network -ITN) එතැන් පටන් ලංකාව තුල රූපවාහිනියේ ගමන්මග ආරම්භ විය.
අන්තර්ජාලයෙන් උපුටා ගැනිමකි.

Saturday, July 13, 2019

____රසවත් ආදර්ශමත් කතාවක් ____




ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.

මේ ඒ කතාවයි.

"ගිලීයන නැවකින් තරුණ විවාහක යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා"

"අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා"

"ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි"

"ඔවුන්ට මෙතැනදී ඉතා දැඩි තීරණයක් ගන්නට වන බව තේරුම් ගියා"

" එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි"

"දිවි ගලවාගත යුත්තේ කවුද"

"මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව නැවේ පැත්තක තබා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර
ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා"

"ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ"

මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා.

සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

ගුරුවරිය නිහඬබව බිඳිමින් සිසුන් වෙත පැනයක් ඉදිරිපත් කලා.

සිසුන් අතරින් විවිදාකාර පිළිතුරු ගලා ආවා.

"මම ඔබට වෛර කරනවා"

"ඔබ වැනි මිනිසෙක් විශ්වාස කරන්නට තරම් මම මෝඩ උනා."

"ඔබට ශාප වේවා"

සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ.

ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා.

ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා  කෑ ගසන්නට ඇතිද"

නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා.

"ටීචර්, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැක බලාගන්න කියල"

සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා.

"ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද"

"නැහැ, නමුත් මගේ අම්ම මියයන්න මොහොතකට කලින් මගෙ තාත්තට කීවෙ ඒ දේ,
ඒ නිසා මම අනුමාන කලා"

දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා.

"ඔබේ පිළිතුර නිවැරදියි ,ඇය කෑ ගසා පැවසූයේ එයයි"

"නැව ගිලී ගියා,
සිය නිවස වෙත නැවත ගිය සැමියා ඔවුන්ගේ එකම දියණියව ඉතා ආදරයෙන් රැකබලාගත්තා"

"කාලය ගතවී ගොස් දියණිය ලොකුමහත් වූ පසු කලක ඔහුත් මියගියා"

ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා.

"දිනක් පරණ කැබිට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා."

"එහි සිය මව පිලිකාවකින් පීඩා විඳි බවත් ඇය නැවේ ගමන් කරන කාලය වනවිට ඇයට ඉතිරී වී තිබුනේ ජීවිතයෙන් ඉතාමත් කෙටි කාලයක් බවත් ලියැවී තිබුණා."

"තම දිරිය මව පියාව රැකගනිමින් සිය ජීවිතය සීතල මුහුදට කැපකලේ තමා වෙනුවෙන් බව ඇය තේරුම්ගත්තා"

"එම දිනපොතේම අවසාන පිටුවේ සිය පියාගේ අත් අකුරෙන් මෙසේ ද ලියැවී තිබුනා"

"මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්"

.....................................................................

මොහොතක් සිතන්න.

මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද?

බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය.

අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය.

අප වෙනුවෙන් ඇති ආදරය ,දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය.

සෑම තීරණයකම,

ඔබගේ පැත්ත,

මගේ පැත්ත,

සහ

ඇත්ත යනුවෙන් තුන් ආකාරයක් ඇත.

ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත....

උපුටා ගැනිමක්..

ඔබට දැනුවත් වන්නට ....ස්භාව ධර්මය ..