පොතක් කියන්නෙ නිදානයක් පරපුරෙන් පරපුරට දායාද පැවරෙන
1959 අවුරුද්දේ අවුරුදු දහයක් වයස පිරුණු කොලු ගැටයෙක්ට එයාගෙ තාත්තා පොතක් දෙනවා. ඒ පොතේ නම බිම්ගෙයි සිරකරුවා හා වෙනත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටිකථා. ඒ පුතණ්ඩියා ඒ පොත නිදානයක් වගේ පරිස්සමෙන් තමන් ළග තියාගෙන ඊට හරියටම වසර හතළිහකට පස්සෙ , ඒ කියන්නෙ 1999 අවුරුද්දේ එයාගෙ දුවට අවුරුදු දහය පිරුණම ඒ පොත තෑගී දෙනවා. ඒකේ පළවෙනි කෙටිකතාව ඉස්කෝප්ප රැජින කියවලා ඇය පුදුම වෙනවා. අල්ලපු ගෙදර නිලම් මාමා හැමදාම ඒකාලේ හැන්දෑවට කොළ කුට්ටමක් තියාගෙන බූරුවා ගහනවා. ඒ බූරුවා සෙල්ලම කතාවක් විදිහට අමුතුම විදිහකට ලියපු ඉස්කෝප්ප රැජින කෙටිකතාව ඇයට පේන්නෙ අකුරු එක්ක කරපු මැජික් එකක් වගේ. කතාවෙ හිටපු හර්මන් අවසානයේ සූදූව නිසාම උමතු වෙද්දි අල්ලපු ගෙදර ඉන්න නිලම් මාමාගෙන් ඔයා කැමති ආසියාටද? පොරවටද? හේරටද? කියලා අහලා බලන්නත් ඇය පසුබට වෙන්නෙ නෑ. ලිසාවෙට ඉවනොව්නා කියන නම දාලා කතන්දරයකුත් ලියලා කවදාහරි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ලිව්වා වගේ ඉස්කෝප්ප රැජින විදිහෙ කතා ලියලා පොත් ලියන කෙනෙක් වෙන්න ඕනේ කියන සිතුවිල්ල මුලින්ම එන්නෙත් ඇයට ඔන්න ඔය කාලෙදි. ඒකාලේ වත්ත පහළ ඉන්න පිල් දිග කපටි මොනරගෙ නමත් හර්මන්. උගෙ සෙබඩියො දෙන්නගෙන් එක්කෙනෙක් ලිසාවෙටා , අනිකා මැටිල්ඩා. ඊට අවුරුදු දහතුනකට පස්සෙ සළපතන මණ්ඩිය නවකතාව පළවෙනකොටත් අර ඉස්කෝප්ප රැජින වගේ කෙටිකතා ලියන්න හිතාගෙන පත්තරවලට ලියපු කෙටිකතා ගොන්නක් එකතුවෙලා තිබ්බත් ඒ එකක්වත් වැඩකට ඇති ඒවා නෙමෙයි කියලා ඈට නිතරම හිතුනා. කොයිතරම් පොත් කන්දරාවක් කියෙව්වත් තවමත් අවුරුදු දහයෙදි කියවපු ඉස්කෝප්ප රැජින වගේ හිත බැදුණු කතාවක් තිබුණේ නෑ. ලේඛිකාවක් වෙන්න මුල්ම හීනය හදාගන්න හේතුවුණ පොතක් විදිහට තාමත් බොහොම පරිස්සමෙන් නිදානයක් වගේ ඇය මේක පරිස්සම් කරනවා. ඊළගට මේක උරුම වෙන කෙනා මොන විදිහකට මේ කතාගොන්න ලබාගනියිද කියලා හිතනකොට මතක් වෙනවා මේ පොත දෙන්න තාමත් කෙනෙක් නෑ නේද කියලා . පොතක් කියන්නෙ නිදානයක් පරපුරෙන් පරපුරට දායාද පැවරෙන
copied :- ආශා රැළපනාව (facebook )

No comments:
Post a Comment